රේල් පීල්ලකට යට වුණ දුක්ඛිත ජීවිතය .


 දුම්රිය දෙපස ජීවත් වන්නා වූ පැල්පත් වාසීන්ගේ දුක්ඛිත ජීවිතය මෙලෙස අකුරු කරමි...

තමාටයයි ස්ථීර වූ පදිංචියට ස්ථානයක් නොමැති ඔවුහු තාවකාලික වූ පැල්පත්වලට උරුමකම් කියති. ලී, ඉටි රෙදි යොදාගත් ඔවුන්ගේ මාලිගය හුදෙක් ඔවුන්ට ආස්වාදජනක වුවද දකින්නන් ශෝක කරවන්නකි. අන්‍යොන්‍ය වශයෙන් එකිනේකාට බද්ධව පවතින මෙකී පැල්පත් තුළ පෞද්ගලිකත්වය යනු හීනයකි.. පැල්පතෙන් එහා ලෝකයක් නොදකින ඔවුන් සිරගතකරුවන් ලෙස තම ජීවිතවලට හුරුව ඇත.. ජීවිතයේ ඉදිරියක් නොහිතන ඔවුන් තම පැල්පතට වී එදිනෙදා කුස පුරවා ගැනීමට උත්සුක වීම ඛේදනීයය.

පැල්පත්හී ජීවත් වන අහිංසක පැටවු ලෝකය දකින්නේ කවදා ද? සැබැවින්ම ඔවුන්ට ලෝකයක් තිබේද? වැරහැලි ඇඳුමක් ඇදගන්නා දරු කැල රේල් පාර ළඟටවිත් තම කෙළිදමේ නිරතවනුයේ ඔවුන්ගේ ලෝකය ඉන් ඔබ්බට කිසිදා නොදකින හෙයිනි. සැබැවින්ම ඇතැම් අවස්ථාවකදී ඔවුන්ට අධ්‍යාපනය පවා හීනයකි. යම් වාසනා ගුණයකින් අධ්‍යාපනය ලබන උන් පවා එහි නිරත වනුයේ අකලටය. කෙතරම් අඩුපාඩු පවතින කලක වුවද රේල් පිලී අභියස සිටිමින් දුම්රිය යන කල පානූ ලබන ඔවුනගේ අව්‍යාජ හිනාව දුම්රිය මගීන්ගේ අනුකම්පා රසයට ගොදුරු වන්නකි.

වැරහැලි ඇදගත් ගැහැනු හා පිරිමි පැල්පත් තුළට වී නීරස ජීවිත ගත කරති. පුරුෂයන්ට තම පවුල් නඩත්තුව කිරීම සදහා ජීවනෝපායක් නොමැතිව රේල් පාටරවිත් හූල්ලන ආකරය දුම්රිය මගීන්ගේ සාමාන්‍ය දර්ශනයක් වී හමාරය. සමාජය ඔවුන්ට කුඩු කාරයන්, හොරුන් යන නම්පොට බදිනුයේ සැබැවින්ම ඔවුනගේ කටුකත්වය නොදකින නිසාවෙන්ද??? හොරකම වුව ද සිදු කරනුයේ දිළිදු බැවින්‍ බැව් ලෝකයාට නොසිතීම හුදෙක් ලෝකයාගේ දුර්වලතාවක් යැයි සිතමි. සැබැවින්ම ඔවුන් නීති විරොධි කටයුතුවල නිරත වනු ඇතැයි කිව හැකිමුත් ඊට පාදකවන ඔවුනගේ කුටුම්භ දරිද්‍රතාවට සුභසාධන සලසන්නන් නම් සමාජය තුළ නොමැත්තේය.
ගැබක්ගත් වැරැහැල්ලකින් ගත සරසාගත් කතකගේ දර්ශනය දෑසට කඳුලක් එක් කරන තරම්ය. හෙට ලෝකය දකින පැටියා මෙහි තතු දන්නේනම් ලොව අතහැර යනු නිසැකය. පවිත්‍රතාවය, සතුට සහ ප්‍රණීත ආහාර නිරන්තරයෙන් ලැබිය යුතු ඇයට ලැබෙනුයේ ඒ වෙනුවට අවට ලෝකයාට හීල්ලිමක් ම පමණී.. ජීවන දර්ශනයක් නොමැති ඒ කතගේ ප්‍රාර්ථනය රජකු නොව කර්කශ නොවූ බිළින්දෙකු වැදීමය.

දුක්ඛිත ඔවුනගේ ජීවිතයට අවශ්‍ය කරන්නා වූ සුබසාධන සපයන්නේ කවුරුන්ද යන්න නොසිතෙන තරමටම ඔවුන් සමාජීය වශයෙන් කොන් වූ පිරිසක් ලෙස නම් දරා හමාරය.. සැබැවින්ම පාලකයන් මෙය නොදකින්නේ ඔවුන් දුම්රියේ ගමන් නොකරන බැවින්ද? ඔවුන් ගමන් කරනු ලබන අධිවේගී මාර්ගය දෙපස දිව්‍ය විමානයන්ගෙන් ඔබ්බට ගියා වූ අපායක් රේල් පීලි දෙපස ඇති තතු නොදන්නා බැවින්ද?

අවසනාවන්ත වූ පැල්පත් වාසීන්ගේ දුක්ඛිත ජීවිතය වෙනුවෙන් අවසන් වරට මෙලෙස සටහන් කරමි..

       දිනපතා  දුම්රිය යනෙන බැව් සැබෑවක්මය. නමුත් දුම්රයෙන් නැගෙන හූ හඬ ව්‍යාජය. අප්‍රාණික වූ දුම්රිය සප්‍රාණිකව හූ කියන්නේ කෙසේද?? කිසි කලෙක එකිනෙකා හමු නොවන සංස්කෘතිය නම් වූ රේල් පීලී හරහා දෛනිකව දිවෙන ඉහළ පංතිය නම් වූ දුම්රිය හූ කියන්නේ ඔබගේ දුක්ඛිත ජීවිතයට සරදමක් වනු පිණිස විනා අන් කවරකටද???
                        



                         සත්සරණී .....

Comments

Post a Comment

Popular posts from this blog

සන්නිවේදනය හා සිතුවිලි

භාෂාව.....

ගණිකාවකට විය නොහැකිද මවක්........???